Saturday, November 26, 2016

‍සනියා සහ ගල් ඉබ්බා 🐢🐢🐢

අද අදේ පාන්දරම දවසේ රාජකාරියට අරඹන්න ගෙදරින් පිටත් වෙලා පාර දිගේ බස් නැවතුමට යද්දි කුණු ඇළෙන් ගොඩ වෙච්ච මහ තඩි ගල් ඉබ්බෙක් පාර මාරුවෙනවා දැකලා ඌව කකුලෙන් තල්ලුකරල කාණුවට දැමමා. නැත්තං ඌට වෙන්නේ ස්වර්ගස්ථ වෙන්න. ඉබ්බා ගැන මතකයත් එක්කම ලොග්පොතේ පිටු පෙරලන කොට කපිතාන්ට පුංචි මතකයක් අාවා කිරි ඉබ්බෙක් ගැන (කිරි ඉබ්බො සුදුපාටයි) පරණ වෙච්ච ලොග් පොතේ කිරි ඉබ්බා ගැන වගේම සනිඅයියා ගැනත් අාච්චිචිත් ලොකු මාමත් මතක් උනා. දැන් මේ තුන් කට්ටුවම මේ ලොකේ නැහැ.

සනි අයියා අපේ ලොකු අම්මා අරං හදාගත්ත කොල්ලා කියල අාච්චි කියනව කපිතාන්ට ඇහිල තියෙනවා. කපිතාන් ටිකක් ලොකු වෙනකොට දැන ගත්තා ලොකු අම්මට දරුවො නැති නිසා ඉපදිච්චි දවසෙම ඌව අම්මාගෙන් වෙන්කරල ගෙනාපු හැටි අම්මාගෙ කිරිත් නැතිව බොහොම අමාරුවෙන් හදාගත්ත හැටි, ඌට පුංචිකාලේ ලෙඩ උනාම වෙච්චි කරදර ගැන මහා යාං හැල්ලක් සනියාගේ අකල් මරණෙ දැනගත්තු ගමන් පොලොවෙ හැපි හැපි  කදුළු පෙරා ගෙන අන ගමන් කපිතාන්ගේ අම්මා කියනවා අහගෙන හිටියෙ මහත් විස්සෝපෙන්. සනි අයියගෙ මරණෙ ආරන්චි වෙනකොට කපිතාන් යුධ බිමේ ඉදල මාස ගානකට පස්සෙ නිවාඩු ආපු දවසට පහුවදා තුනට විතර.


කපිතාන් හෝඩියෙ පන්තියෙ ඉදල තුනේ පන්තියට යනකම් ඉස්කෝලෙ ගියේ පටුවත ලංකා සභා රජයේ විද්‍යාලයට ඒක සුද්දගෙ කාලෙ පටන් ගත්ත ආගමේ පාසැලක් පස්සෙ රජයට පවරගෙන, ඒ වුනාට නම නම් තාම වෙනස්කරල නැහැ, දවසක් උදේ පාන්දරම අාච්චි කබාකොරුත්තුව ඇල රතුම රතුපාට කොටු වැටිච්ච මඩකලපු පට කම්බායකින් හැඩවෙලා පෙට්ටගම අවුස්සන සද්දෙට කැප්ටන්ට ඇහැරෙනවා හැට්ටෙටදාන රත්රතන් බොත්තම් වැල හැට්ටෙට අමුනනවා කපිතාන් දකින්නෙ නිදි පැදුරෙදිම. අාච්චි කොහේ හරි යන්න ලක ලෑස්ති වෙන බව කපිතාන්ට තේරුණා. කපිත්තත් ආච්චිගෙ පස්සෙන් එල්ලිලා යන්න ඕන එ්ත් ඒකට ආච්චි කැමති වුනේ නැහැ, උඹ පුංචි අම්මත් එක්ක හිටපන් මම අලුත්තල් ගිහින් එන්න යනෝ කිව්වත් කැප්ටන් එ්කට කැමැත්තක් නොදක්වා මහහයියෙන් අලා හැපෙනකොට උදේ පාන්දරම ශරීරක් කෘත්යට වැල්ලට ගිහිපු ලොකුමාමා පස්සෙ දොරෙන් ගෙට ගොඩ උනේ කකුලේ තිබුනු වැලි හැලෙන්න කකුල ගල් පඩියේ ගහන ගමන්. 

මොකෝ මේකා අඩන්නේ කියාගෙන. මේකා මගේ පස්සෙන් යන්න දලනවා කියල ආච්චි කියන කොටම කමක් නෑ ඔන්න ඔහේ එක්ක පලයල්ලා පුංචි එකාගෙ ආසාවනේ ඕකා ඔය සනියත් එක්ක දලන්නනෙ යන්නේ ආච්චි තවත් මොන මොනවදෝ කිවුවත් පුංචි අම්මා මාව ලැස්තිකරා ආච්චිත් එක්ක ගමනට කපිතාන් හිච්චි එකානේ ඉලටිටික් දාපු ජංගි කොටේ අන්දල කමිස කැල්ලක් අන්දල පුයර ටිකකුත් මූණෙ අතුල්ලන ගමන් කීවේ ගියාට කමක් නෑ සනියත් එක්ක වක්කඩේ බහින්න යන්නේ එහෙම නෑ කියන ගමන්.

ගෙදරින් පිටත් වෙලා පාර පැනලා රේල් පාර දිගේ ගලඋඩ විහාරෙ ගාවට අාපු අාච්චි පන්සල ගාව ගල් තලාවෙ වාඩි වෙලා හිටිය බස් එකක් එනකම්. කැප්ටන් පාර දිහා බලාගෙන හිටයා ඉක්මනට බස්එකක් එනකම් ( දැන් කාලෙ වගේ විනාඩි පහෙන් පහට බස් නෑ) පැයකට විතර පස්සේ ආපු බස් එකේ නැගල අාච්චි සීට් එකේ වාඩි වුනේ මාවත් උකුලෙ තියාගෙන ඇල්පිටිය යන බස්එක වතුර කරත්තෙ වගේ හැම තැනම හොල්ට් ගානේ නවත්ත නවත්ත අලුත්තලට යනකොට හොදට අව්ව වැටිල.

බස්එක නවත්තන කොට ලොකු තාත්තා පාරට ඇවිත් බැළුවා හරියට අපි එන බව දැනගෙන වගේ දැන්නම් කපිතාන්ට හිතෙන්නේ එ්ක කලින් සැලසුම්කල ගමන් විත්තය අපි යන කොට ලොකු අම්මා කැකුළු හාල් බත්උයලා කොච්චි කොටල පොල් සම්බලකුත් හදපු බව කුස්සිය පැත්තෙන් ආපු සුවදෙන් තේරුනා.(දැන් වගේ නෙමෙයි ඉස්සර ගමේ කුඹුරු වල වී කොටලා හදන හාල් වලින් බත් පිහන කොට හරි සුවදයි දැනුත් කටට කෙල උනනවා)

එයත් ආචිච වගේම පටකම්බායක් ඇදල මාල කූරු ගහල ලැස්තිවෙලා හිටිය ලොකු අම්මා බෙලෙක් පිගානකට ආච්චි හදාගෙන ආපු ඇඹුල් තියලුත් එක්ක බත් පතක් බෙදාගෙන ඇවිත් මට දීල බිම ඉහිරන්නේ නැතව කාපං කියල, කෑ ගෑවා සනියෝ කියලා. මේකා කොහෙද ඉදලා දුවගෙන ආවහම උඹ මල්ලිත් එක්ක ගෙට වෙලා ඉදහං මං ආච්චිත් එක්ක ගමනක් යනෝ කියලා දොට්ට බහින කොට ලොකු තාත්තත් සුදු සරමක් අත් දිග කමිසයක් ඇදලා පාරට වෙලා හිටයෙ පුස් සයිකලෙත් තියාගෙන අච්චි පස්සෙ ලැගෙජ් එකේ වාඩිකරන් ලොකු අම්මා ඉස්සරහ පොල්ලෙ වාඩි කරන් ලොකු තාත්තා බයිසිකලේ පැදං යනෝ කපිතන් බලාගෙන හිටියෙ පිලේ ඉදං.

දවල් වෙන කොට සනියත් එක්ක වක්කඩේ බැහැපු කැපිටන් සනිය අල්ලදෙන හොර උඩිඩො තිත්තයො බාල්දියෙ දාගෙන මහත් අසාවෙන් බල බල ඉන්නකොට සනි අයියා ඉබිබෙක් අල්ලං ආවේ මහ වීරයෙක්වගේ බාල්දියෙ හිටය තිත්තයො වක්කඩේට හලපු සනියා ඉබ්බාත් බාල්දියට දාගෙන ගෙදර ඇවිත් ඉබ්බගෙ සිරි නරඹ නරඹ ඉන්නකොට ලොකු අම්මා ගෙදර එන බව දැනගත්ත සනි අයියා ඉබ්බා බාල්දියට දාලා වඩු මඩුවේ හංගලා ගෙට දිවුවා මාත් ඒ පස්සෙන් වැටිල ගෙට දිව්වා. අපි දෙන්නා මඩ ගාගෙන ඉන්න විලාසෙ දැකපු ලොකු අම්මා තොට මං කිවවනේද පුංචි එකා එක්ක ගෙටවෙලා ඉදපං කියලා කියන ගමන් දීල ඇතෑරියා අතුල් පාරක් පිට මැද්දට. ගුටිය කාගෙන සනි අයියා පැනලා දිවුවා. ආයි අවේ පැය ගානකින් බඩ ගිනි උනාම හොරෙන් හොරෙන් පස්සෙ දොරෙන් ගෙට අපු සනි අයියා අම්මේ බඩගිනියි කියනකොට බෙදාගෙන කාපං කියලා කියනව කපිතන්ට ඇහුනා.




එදා හැන්දෑවෙ ලොකු අම්මත් ආච්චිත් ගිහිපු ගමන ගැන කරන කථා එහෙ මෙහෙ දුවන ගමන් කන වැකුනත් පස්සේ කාලෙකදි තේරුනා ඒ අය මගුල් තුලාවකට ගෙවල් දොරවල් බලන්න ගිහිපු බව, එදා රෑට අලුත්තල ඉදල උදේ යන්න කියල ලොකු තාත්තා ආච්චිට කියනවා ඇහුනා වෙලේ කපිතන්ට ඉහේ මලක් පිපුන වගේ වුනා, රෑවෙනකම් දගල දගල හිටපු සනිඅයියට දවල් අල්ගෙන ආපු ඉබ්බා මතක්වෙලා ඌව බලන්න ගියේ ඉටිපන්දම් කෑල්ලකුත් පත්තු කරන්, පත්තු කරන් ගිහිපු ඉටිපන්දම සනිය ඉබ්බගේ පිටේ ගහල ඌ එකත් එක්ක ඇවිදින හැටි බලාගෙන හිටියා. (ඒ කාලේ ගෙවල්වල පත්තුකරේ කුප්පි ලාම්පු පාරේ ලයිට් නැහැ අහල ගං හතකවත්.)
පාරෙ ගිහිපු වාහනයක් නවත්තන සද්දෙට කැප්ටන් දුවල ගියේ ගේ ඉස්සරහට ගේ ඉස්සරහ නවත්තල තිබුන වාහනේ පියදාස මාමගේ බව කැප්ටන් අඳුන ගන්නවා පියදාස මාම හිටියෙ අච්චිලගේ ගේ ඉස්සරහ ගෙදර එයා කුලීගමනක් ගිහින් එන ගමන් ඇන්ජිම රත්වෙලා ඒකට වතුර ගන්න එතන නවත්තලා තියෙන්නේ. හනිකට වතුර දාගත් පියදාස මාමා යන්න හදනකොට ආච්චිටත් ඒකෙ නැගිල යන්න පුළුවන් නේද කියල හනිකට මාවත් අරගෙන පියදාස මාමගේ ඩැට්සන් එකේ නැගගත්තෙ රෑට කන්නෙත් නැතිව. ඩැට්සන් එකේ ටික දුරක් එන කොට කපිතාන්ට නින්ද ගියා ආපු හැටියක් මතක නැහැ නැගිටින කොට පහුවදා උදේ.

දවස් දෙක තුනකට පස්සේ ලොකු අම්මා ආච්චි බලන්න ආපු වෙලේ දැන ගත්තා එදා රෑ ලොකු අම්මලගේ අල්ලපු ගෙදර පිදුරු මඩුව (දැන් ගම්වල පිදුරු මඩු නැති උනාට අතීතයේ හරක් හදන අය, ගොන් කරත්ත තියෙන උදවිය කුඹුරු කැපුනම මැඩුහන් වේලලා ලොකු මඩුවක  එක් රැස් කොරනවා ගොන්නුන්ට කන්න දෙන්න) ගිනි අරගෙන අළුවෙලා කියලා වෙච්චි දේ දැන ගත්තත් ඊට ගොඩක් කාලෙකට පස්සේ සනි අයිය ආච්චිලගේ ගෙදර ආපු වෙලේ පිදුරු මඩුව අළුගොඩ යට ඉබ්බෙක්ගෙ කටුවක් තිබුන කියල සනි අයිය කිවුවෙ.වැල්ලේ රෑල්ල පාගන ගමන්.



- කපිතාන් -

Thursday, November 24, 2016

කප්පිත්තාගේ කැ‍රැට්‍ටුව

කාලයක් තිස්සේ හිතේ පොදි ගැහිල තිබුන ආසාවක් ඒ විදියටම නැති වුනත් වෙනත් විකල්ප ක්‍රමයකින් හරි එලි දක්වන්න ගන්න පුංචි උත්සාහයක් මේ විදියට කරදිය රැළි උඩින් ගේන්න  කියලා හිතලා මේ වැඩේ නමෝ විත්තියෙන් අද අකුරු කරන්න ගත්තා.

පොතක් ලියන්න එක ගැන ජොසික්කරෙ දාගෙන නැවේ ඇනියට වෙලා පයිපෙ උර උරා හිටපු කැප්ටන්ට ඒකට වඩා බොලොගක් ලියන එක ලේසියි කියල සංසාර සාගරේ ජිවත නෞකාව පදවන කොට අහම්බෙන් නැවට ගොඩවෙච්ච් පුංචිම පුංචි නාවිකයෙක් මට පුංචි උපදේශයක් වගේම ඉල්ලීමකුත් කරා.

නාවිකයා පොඩි උනාට මේකා දීපු උපදෙස්, අර්ධ ශතකයක් ගහල ඉන්න කපිතාන් ඉතාම කරුණාවෙන් පිලි අරගෙන වැඩේට බැස්සා. වැඩේට මුල් වෙච්ච පුංචි නාවිකයා ගැන පස්සේ විස්තර මගේ ලොග් පොතේ ඉදිරි පිටු පෙරලෙන කොට කියවල බලමු.

මෙතැන ඉදලා මම මාව හදුන්වන්නේ කපිතාන් කියලා. මොකද  කපිතාන් පුංචි කාලේ හැදුනෙ වැඩුනෙ මහ සයුරත් එක්ක ඔට්ටුවෙලා ජීවිත නෞකා පදවන මිනිස්සුත් එක්ක. හැන්දෑවෙ බටහිර අහසෙ හිරු දෙවියො රතුම රතුපාටට නොපෙනි යනකොට අඩුම කුඩුම කරගහගත්තු මිනිස්සු රුවල් ඔරු බාගෙන ගිලෙන හිරු  අල්ලන වගේ ඇත දියඹට ඔරුව පදිනවා. ඒ මිනිස්සු ගැන වගේම මුහුදු  වෙරළට, මුහුදු වෙරළට එන මුහුදු ජීවියෝ ගැන කැප්ටන්ගේ හිතේ තුබුනෙ මහත් ආදරයක්. පුංචි එකා උනාට ඒ සත්තුන්ට හිරිහැර කරන එවුන් එක්ක කපිතාන්ගේ හිතේ තරහක් ඇති වෙනව.

කැප්ටන් පුංචි එකා කාලෙ අම්මගෙන් කිරිවරන්න ආච්චි අරගෙන ඇවිත් හැදුනෙ වැඩුනෙ කැප්ටන්ගේ මවු පාර්ශවයෙ මහගෙදර. ආච්චිගෙ, පුංචි අම්මගේ ආදරෙත්, හොද වඩුවෙක් වෙන ලොකු මාමගේ රැකවරණෙත් එක්ක. 

කැප්ටන්ගේ අම්මා අප්පා පදිංචි වෙලා හිටියේ  වෙරළෙන් ඈත හද්දා පිටිසර  ගමක. පස්සෙ පුංචි අම්ම දීගෙ දුන්නට පස්සෙ ලොකු මාමා ගෙදරට ගෙනාපු ලොකු නැන්දා නොහොත් ගාල්ලේ මහගේගෙ ( කැප්ටන්ගෙ අම්මා කියන විදිහට ) විරෝදෙට කැප්ටන්ගෙ තාත්තා එයාගෙ එකම අක්කගෙ ගෙදරට කැප්ටන්ව ගෙනියනවා. ගමේ හැදෙන කැප්ටන් කරදඩු උස්මහත් වෙලා ගජ ඉලන්දාරියෙක් වෙන කොට, රටේ උතුරු කොන වගේම දකුණත් ගිනි ඇවිලිලා. විවිධ රැකියාවල නිරතවෙලා හිටපු කැප්ටන් තරුණ ජවයත් එක්ක එන අධික සන්නිපාත උණ රෝගයට ගොදුරු වෙලා වෙවුලන්න ගන්නවා. උණ හොදකර ගන්න බෙහෙත් හොයාගෙන යන කපිතාන් නතර වෙන්නෙ රටට හිරු මෝදු වෙන, ගී කියන මාලු ඉන්න දිහාවේ.

අවුරුදු දහයක් ගොඩබිම් සටන් වලට මුහුන දෙන කපිතාන් තනි ජිවිතේ හොදයි කියල ඉන්නකොට දෙමවුපියෝ ඒකට විරෝධය පාල විවාහයක් කරලා දීලා ඒගොල්ලගෙ වගකිම් ඉවරයි කියල නිදහසේ ඉන්නවා. පස්සේ කාලයක් දකුණු මුහුදේ නැංගූරම් දාගෙන ඉන්න කොට මහා සුනාමිය ලංකාවට කඩාවදිනවා. සුනාමියට කපිතාන්ගෙ නැවේ මහකුඹේ කඩලා ගිහින් රුවල් ඉරිල නැව මුහුදු බත් වෙනවා. සුනාමියෙන් පස්සෙ කැප්ටන් බොහොම අමාරුවෙන් නෞකාව ගොඩ අරගෙන ජිවිත යාත්‍රාව පටන්ගන්න කොටම නැවත ගොඩබිම් සටන් සදහා කැදවනවා.




ඊට පස්සේ  සහල් නැලිය මුදාගන්න පසුපෙල ඉදගෙන සහයොගෙ දිලා නැවත සුපුරුදු නවාතැනට ආවත් උතුරේ සටන් ඉවරවෙලා තිබුනේ නැහැ. නැවත වරක් A-9  දිගේ උතුර හොයාගෙන යන ඉදිරි සටන් පෙරමුණට  සැපයුම් මාර්ග ආරක්ෂා කරන්න කැදවනවා. 

සටන් අහවර කරල  අවි නිහඩ කලාට පස්සෙ කපිතාන් කුකුලගෙ වරායෙ ඇංකරේ ගහලා  මෙච්චර කල් ලියපු ලොග් පොත කියවන්න හදන්නේ. ඒකේ හපන්කම් මෝඩකම් වගේම පුරසාරනුත් නැතුව නොවෙයි. ලොග් පොතේ පිටු 18000ක් විතර ලියල තිබුනට දැන් සමහර පිටු කියවගන්න බැරි තරමට දුර්වර්ණ වෙලා. ඉතුරු ටිකත් විනාස වෙන්න කලින් මේ වැඩේට බැස්සා. ලියපු ලොග් පොත ඉංගිරිසියට හරවන්න බලා පොරොත්තුවකුත් තියෙනව. ඒකට ඉස්සෙල්ලා මේක ලියන්න එපායැ නේද? :D ඒ වැඩේ පුංචි නාවිකයා කරල දෙන්න උනන්දුවෙන් ඉන්න බව කපිතාන් දන්නවා .කාලයක් තිස්සේ බොලොග් පොස්ටු කියව කියව හිටිය කපිතාන්ට ඒවට වචනයක් කියා ගන්න බැරුව හිටියේ අදින් පස්සේ කියවන බොලොග් පොස්ටුවලට කමන්ටියක් දාලා සහයෝගයක් දෙන්නත් බලාපොරෝත්තු වෙනවා. කපිතානගේ ලොග් පොත කියවලා ගුණ දොස් විවේචනයක් බලාපොරොත්තු වෙනවා. එකට මල් වගේම ගලුත් ගැහුවොත් තමයි හොද. (මල් වලට නම් මම කැමති නැහැ ගල් නම් හුන්ඩුවක් විතර තිබුනොත් ඇති හවසට)



- කපිතාන් -