Thursday, December 8, 2016

හේල හෙලයි හෙලෙයියා



රතුම රතු පාටට ගිනි බෝලයක්වගේ හිරු දෙයියො මුහුදේ ගිලෙනවා බලන් ඉන්න මට නම් තියෙන්නේ හරිම ආසවක්, වැල්ලේ රතු පොල් ගහ යට වාඩිවෙලා  මුහුද දිහා බලන් ඉන්න කොට දැනෙන්නේ පුදුම සතුටක්. තදම නිල්පාටට තියෙන මුහුදෙ හිරු ගිලෙන කොට හිරු ගිලෙන තැන ඉදගෙන වෙරළට එනකම් මුහුද රත් පැහැගැන්වෙනවා. 

දවල් දවසේ කෑම හොයාගෙන ආපු කුරුල්ලෝ තමන්ගෙ ලැගුම්හල් වලට යන්නේ මහත් වේගෙන් ධීවරයෝ තමන්ගේ ජීවිතේ ගැටගහගන්න ඔරුව දියත්කරනවා කැප්ටන් හැමදාමත් බලං ඉන්නවා. ඒ අතර කැප්ටන්ට ආදරේ කරන මග්ගොන සීයා වැල්ල දිගේ එන්නේ වට්ටය වගේ විශාල පංකොල තේප්පියත් දාගෙන අත්දිග බැනියමත් ඇදල බෙල්ල වටේ ලොකු කම්බ ලේන්සුවකුත් බැදගෙන කරතබා ගත්ත කළමනාත් එක්ක.

ධීවරයෝ හැමෝම වගේ ඇවුලුම් බිලියක් අතංගුවක් වගේම හබලත් රෑට කන්න බත්මුලත් තව කඩෙන් ගන්න වන්ඩුවක් නැත්නම් ගල් බනිස් දෙක තුනත්  සුරුට්ටු මිටියත්  ගිනි පෙට්ටි වගේම මහ බංකරෙන් අරගෙන යනව එතනින් යනකොට පුරුද්දට වගේ අපේ ගේ දිහා බැරිල බලනවා මම ඉන්නවද කියල මම ඉන්නෝ දැක්කහම හිච්චි එකෝ ගෙටපලයං දැන් රෑවෙලා කියා ගෙන මග්ගොන සීයා කැරෑපෙ හරියට ගිහන් එයාගේ බල ඔරුවට ලගට යන කං බලං ඉන්නව. 

(මහ බංකරේ කියන්නේ යකඩෙන් හදපු ලාම්පුවක් එ්කට ලාම්පු තෙල් දාල ගොනි කෑල්ලකින් හදපු මහ තිරයක් දාපු එකක් මහ කුණාටුවක් ගැහුවත්  ඒක නිවෙන්නේ නැහැ) 

මග්ගොන සීයා තරුණ කාලේම මෙහේ ඇවිත් තියෙන්නේ ගෙදරින් තරහවෙලා බව කැප්ටන් දැන ගන්නේ කාලකෙට පස්සෙ. මග්ගොන සීය අපේ ගමට ඇවිත් මූදු රස්සාව කරන ගමන් මේ ගමෙන් කසාද බැදල බින්න බැහැල රේල් පාරට එහා පැත්තේ පොඩි ගෙයක් හදාගෙන පදිංචිවෙලා හිටියෙ ජේන් ආච්චිත් එක්ක එයාට පුතෙක් හිටියා විජේපාල කියල  එයාට අපේ පවුලේ පොඩි අෑයෝ හැමෝම කිවුවෙ විජේපාල මාමා කියල. 

අපේ ආච්චිනම් මග්ගොන සීය හැදුන්නුවෙ මග්ගොනය කියල විජේපාල මාමට කිවේ ජෙන් මහගෙගේ පුතා නැත්තං විජේපාලය කියල.
මුහුදු රස්සාවට යන ධීවරයන්ට ඉස්සර ඇංජින් බොට්ටු තිබ්බෙ නැහැ හබලෙන් පැදල රුවල දාගෙන යන ඔරු තමයි තිබුනෙ. ඒ ඔරු හදුන්වන නම් ගනනාවක් තිබුන මාදැල් ඔරු, බල ඔරු, පිලා ඔරු, වාරා ඔරු, බල ඔරුවල පිලා ඔරුවලට රුවලක් තිබුනත් වරා ඔරුවට මාදැල් ඔරුවට රුවල් තිබුනේ නැහැ.

මාදැල් ඔරුවක් දිගින් පලලින් වැඩි ටිකක් විශාල ඔරුවක් ඒකේ හබල් හයක් විතර තියෙන ඇනියෙ වෙනම හබලක් තියෙන ඔරුවක් ඒ හබල ගන්නෙ ඔරුවෙ නායකය එයාට කියන්නේ මරක්කලහෙ කියල. ඒ තැන ගන්න මුහුද ගැන වගේම ඔරුව පදින්නත් ධීවර රස්සාවෙ හතර මුල්ලම දැන ගෙන ඉන්න ඕන. මරක්කලහෙට ඔරුවෙ යන හැමොම කීකරුයි කියල කැප්ටන්ට තේරුම් ගියේ පුංචි කාලෙදිමයි. 

ඒ ඔරුවලින් කරන්නේ මහා විශාල දැලක් ගොඩ ඉදල දියෙඹට එලාගෙන ගිහින් නැවත අනිත් කොන ගොඩ බිමට ගෙනත් දෙපැත්තෙන් ගොඩට ගෙනත්දීල අායිත් ඔරුව මූදට පදිනව අන්තිම කොනේ මඩිය තියෙන තැනට. දැල මූදට එළුවට පස්සේ දැළ මුදේ එලපු දිගේ දැල වතුර මතු පිටේ රවගන්න අමුනපු ඉපියො තනි ඉරක් වගේ පේනව පාට පාට ඉපියො හදන්නේ වතුරෙ පාවෙන දේවලින් දැල්වලට ඉපියො හදන්න මහ කදුරු කදන් ගෙනත් රවුමට කපල මැදින් සිදුරක් විදින හැටි කැප්ටන් දැකල තියෙනව මාදැල් කාරයො දැල් වියන තැන්වලදි ඒකත් මහා කලාවක් වගේ දැන්නම් ඒවා පාවිච්චි කරන්නෙ නැහැ. රෙජි්ෆෝම් බෝල කඩෙන් සල්ලි දීල ගේනව. ඒව හදන්නම පුරුදු වෙච්චි අය ඕනෑ තරම් හිටිය.
මුලින් කඹයක් ඊට පස්සේ විශාල ඇස් තියෙන ලනු දැලක් ඊටත් පසසේ ඇස් පුංචි නයිලෝන් දැලට පස්සේ ඇස් පුංචි මඩිය ඒක මහා විසාලයි දැලට කොටුවන මාළු අන්තිමේ නවතින්නේ ඇස් පුංචි මඩියෙ. ඒ දැල් වලින් අල්ලන්නෙ හාල්මැස්සෝ, හුරුල්ලෝ, මොරලි, බෝල්ලො, කුමිබිලාවෝ, පියාමස්සෝ වගේ පොඩි මාළු වුනාට සමහර වෙලාවට පොඩි මාළු අයින් පස්සේ එන ලොකු ලොකු මාළුන් ගෙත් ගමන කෙලවර කරන්නේ වෙරලෙන්. එදාට මාදැල් කාරයට හරි සතුටු විත්තිය එයාලගේ කතාවෙන් තේරෙනවා. මාදැල වට කරන කොට මාදැල් කාරයා වෙරළෙ ඉදං හූ කියනකොට ගෙවල්වල ඉන්න ධීවරයො වගේම දැල අදින්න සහය දෙන කටිටිය වැල්ලට එනවා. 

Image result for ancient fishermen in ceylon

දැල අදින කොට සමහර ධීවරයෝ කවි කියනවා. තවත් සමහර අය කියන්නෙ පට්ට කුනුහරුප දැල ඇද්දහම ඇදපු අයට කොටහ බේරල තමයි මා දැල් කාරය ඉතිරි මාලු වෙළෙන්දන්ට විකුනන්නෙ. දැල ඇදපු ඈයොන්ට හොද්ද කන්න මාළු ටිකක් ලැබෙනවා. ඒකත් අරගෙන ඒ අය ගෙවල් වලට යනව. කැප්ටන්ටත් ටිකක් ලොකු උනාට පස්සේ මාදැල් අදින්න දුවනව හූ හඬ ඇහුන ගමන් එදාට මටත් මාළු කූරියො දෙතුන් දෙනෙක් ලැබෙනවා. ඒව ගෙනත් ආච්චිට දුන්නහම ආච්චි බනිනව තෝ හම්බකරන්න ගියාද මීට පස්සෙ යනෝ එහෙම නෙවෙයි කියල. ඒත් අයිත් දැල් අදිනකොට මම ආයිත් වැල්ලෙ යනව.

ඒ වගේ දවස් කීයක්නම් ගෙවෙන්න ඇද්ද. මම හැමදාමත් හැන්දෑවට වැල්ලටවෙල ඉන්නවා. දවසක් හැන්දැවෙ පොඩි එකො කොහෙද ඉන්නේනේ...... කියන ආච්චිගෙ සද්දෙට මම ගෙට දිවුවෙ මං මෙහේ........ කියාගෙන මූන කට හොදගෙන ගෙට වෙලා ඉදහන් හෙට උදැහැනක්කේ ගොනපිනුවල් යන්න ඕන. කියන කොටම පුංචි අම්මා මාව ඇදගෙන ගියා.ලිඳ ගාවට.

~ මතු සම්බන්ධයි ~


    කප්පිත්තා -

7 comments:

  1. රන්වන් මකරගේ හෝඩුවාවෙන් මේ පැත්තට ආවා. අපූරු ලියවිල්ලක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ජීවිතෙත් හරිම අපූරුයි දූමී.පුංචි සන්දියෙ ලබපු අත් දැකිම් දුක වේදනාව සතුට ඒ ගැන නැවත මතකය ආවර්ජනය කිරිමත්. දැන් පුංච් එවුන්ට ඒ අත් දැකිමි ලබා ගන්න බැරි විම ගැනත් කනගාටුයි. මේ පැත්තට එන්න රන්වන් මකර දිපු සහයටත් ස්තූතියි. ජයවේවා .....

      Delete
  2. සැපවේවා!

    ඉඳල හිටලා මඩිය පැලුනාම මලේ කොහොමද කියවෙන අගේ ඇති වචන සැට් එක.
    හැට්ටර්ටත් පොඩි කාලේ මතක් උනා.

    ReplyDelete
    Replies
    1. හැට්ටර් මල්ලිත් කරිජ්ජ පාගපු එකෙක් විත්තිය දැන ගත්තම සතුටුයි. වචන සැටිටෙක දන්නවනේ හැබැයි දැන්නම් ඒ වචන සැටිටෙක එයාලටත් අමතක වේගෙන යන්නේ. හපොයි හපොයි.හැටිටර්ට ජය.......

      Delete
  3. කැප්ටන්.......මරු ලියවිල්ලක් බං. මේ කතා පෙළ දිගටම ලියපන්. උඹ ලියන විදිහ මරේ මරු.

    කැපා....කමෙන්ට්ස්වලට උත්තර දෙනකොට ඒ අදාල කමෙන්ට් එක යට තියෙන රිප්ලයි එක ක්ලික් කරලා ඒ කොටුවේ ලියපන්.

    ReplyDelete